ලේකම්තුමාගේ පණිවුඩය

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු වූ යුගයක් ලෙස ගෙවී ගිය දශක දෙකක පමණ කාලය හඳුනාගත හැකිය. ලෝකය මේ වන විට විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව භූගෝලීය, කලාපීය, ජාතික, වාර්ගික හෝ සංස්කෘතික සීමාවන් බිඳ දමමින් සමස්ත මානව ප්‍රජාව එකිනෙකා වෙත බෙහෙවින් සමීප කරවීමට හේතුවී තිබේ. සයිබර් අවකාශය මේ වන විට සන්නිවේදන හා තොරතුරු හුවමාරු කරගැනීමේ ප්‍රධානතම මාධ්‍යය බවට පත්ව ඇත.

මානව සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම ලෞකික දියුණුව සඳහා ද මගපෙන්වන මානව කේන්ද්‍රීය විශ්වීය දර්ශනය නම් ශ්‍රී සම්බුද්ධ ධර්මයයි. එසේම හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගමික ඉගැන්වීම් සියල්ලද ප්‍රේමය, ඉවසීම, සහජීවනය හා පරෝපකාරය ආදී මානුෂීය ගුණධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම උදෙසා මගපෙන්වන උතුම් දර්ශනයන් වේ. ඉතිහාසය, සංස්කෘතිය සාහිත්‍ය හා කලා ශිල්ප ආදී ක්ෂේත්‍ර සියල්ල ඕනෑම මානව සමාජයක අනන්‍යතාවය හා භාවාත්මක දියුණුව පිළිබිඹු කරන ප්‍රධාන දර්ශකයන්ය. මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අයත්වන සාමයික, ඓතිහාසික, සංස්කෘතික හා සෞන්දර්යාත්මක ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය, ප්‍රචාරණය හා සංරක්ෂණය ආදී කටයුතුවලදි තොරතුරු තාක්ෂණය අත්‍යාවශ්‍ය මෙවලමකි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය හැඩගැස්වීමෙහිලා ඓතිහාසික ගාමක බලවේගය වූ බුදුදහම සුරක්ෂා කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අප වෙත පැවරී ඇති වගකීමක් වන අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රණය වශයෙන් එම ව්‍යවස්ථාපිත වගකීම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා පුළුල් පරාසයක විහිදුණු කාර්යයන් රාශියක් ඉටුකරමින් සිටියි. එසේම අනෙකුත් ආගමික කටයුතු ප්‍රවර්ධනය හා කළමනාකරණය කිරීමද ජාතික හා සංස්කෘතික උරුමයන් මතු පරපුර උදෙසා ආරක්ෂාකර කළමනාකරණය කිරීමද ඇතුළු ක්ෂේත්‍ර රාශියක වගකීම් අප අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලැබේ.

එම ක්‍රියාවලියේදී, ගෞරවනීය මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජකතුමන්ලාද විවිධ සමයයන් හා ලබ්ධීන්ට අයත් මහජනතාවද ශිෂ්‍යයන්, කලා ශිල්පීන්, විද්වතුන් ඇතුළු දේශීය හා විදේශීය සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික ආයතන හා ප්‍රජාව සමගද යහපත් හා ඵලදායී අන්තර් සබඳතාවයක් ගොඩනගා ගැනීමටත් කඩිනමින් හා නිවැරදි ලෙස අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමටත් විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ‘’රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාල අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ කාර්යයේදීත් අප අමාත්‍යාංශයේ මෙම වෙබ් අඩවිය අතිශය ඵලදායී වනු ඇතැයි මම විශ්වාස කරමි.



දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන

ලේකම්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

 

පොහොය දවස්

vesak3

නව්‍ය පුවත්

නවතම දර්ශන