වැඩසටහන්

පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය

හැඳින්වීම

පූජා භූමි සැලසුම්කරණය හා සංවර්ධනය කිරීම යන කාර්යය හා කර්තව්‍යය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පැවරී ඇත.

කිසියම් විහාරස්ථානයක්, පල්ලියක්, කෝවිලක් හෝ දේවාලයක් පූජාභූමියක් ලෙස හඳුනාගෙන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරිමටත් එම පූජාභූමිය සංවර්ධනය කිරීමටත් මෙම අමාත්‍යංශයේ කාර්යභාරය වේ. මෙහිලා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේද සහය කර ගනු ලැබේ.

වර්ෂ 1946 අංක 13 දරන (269 වැනි අධිකාරිය වූ ) නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ 6(2) (ආ) හා 21(2) (ආ) වගන්තිය යටතේ “නාගරික සංවර්ධන ප්‍රදේශ” වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන භූමි භාග පූජාභූමි ලෙස හඳන්වනු ලැබේ.

නිර්නායකයන්

  1. ජාතික මට්ටමින් විශේෂ වූ ද වැදගත් වූ ද පූජනීය ස්ථාන
    • අනුරාධපුරය, තිස්සමහාරාමය, මහියංගනය, කැලණිය, දඹුල්ල, තලවිල පල්ලිය හා තිරුකේතීෂ්වරම් කෝවිල ආදී පූජනීය ස්ථාන දැක්විය හැකිය.
  2. ප්‍රාදේශීය මට්ටමින් වැදගත් ස්ථානයක් ගන්නා පූජනීය ස්ථාන
    • බෙල්ලන්විල, තේවත්ත පල්ලිය, මුන්නේෂ්වරම් ආදී පූජනීය ස්ථාන දැක්විය හැකිය.
  3. පුරාවිද්‍යාත්මක සාධක සහිත ඓතිහාසික වටිනාකමැති පූජනීය ස්ථාන
    • මාළිගාවිල, දෙල්ගමුව රජමහා විහාරය, රිදි විහාරය, නැදිගම්විල, දීඝවාපිය ආදී පූජනීය ස්ථාන
  4. ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ පූජනීය ස්ථානයක් මඟින් සිදු කරනු ලබන සුවිශේෂි වූ ආගමික සමාජයීය සේවාවන් පදනම් කරගෙන විෂයය භාර අමාත්‍යතුමා විසින් හඳුනාගනු ලබන පූජනීය ස්ථාන
    • රංවල පහන දේවාල( පුවක්පිටිය), සිරි වජිරාරාමය (බම්බලපිටිය), ශ්‍රී අභයාරාමය ( නාරාහේන්පිට), පොකුණුවිට රජමහා විහාරය ( හොරණ) ආදී පූජනීය ස්ථාන

සැලකිල්ලට ලක් කරන කරුණු

  • ආගමික වැදගත්කම්
  • ඓතිහාසික වැදගත්කම්
  • පුරාවිද්‍යා වැදගත්කම්
  • සංස්කෘතික වැදගත්කම්
  • ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම්
  • පාරිසරික වැදගත්කම්

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීමට පෙර ක්‍රියාදාමය

  1. අදාළ ඉල්ලීම අනුව නියමිත පූජනීය ප්‍රදේශය පිළිබඳ ක්ෂේත්‍ර පරික්ෂණයක් පැවැත්වීම.
  2. ඒ අනුව ආයතන ප්‍රධානියා / අමාත්‍යංශයේ ලේකම් හෝ විෂයය භාර ගරු අමාත්‍යවරයාගේ නිර්දේශය හො එකඟතාවය ලබා ගැනීම.
  3. එම නිර්දේශය / එකඟතාවය මත අදාළ පූජනීය ප්‍රදේශ පිළිබඳ මැනුම් සැලැස්මක් හා මායිම් උපලේඛනයක් ලබා ගැනීම සඳහා මැනුම් නියෝගයක් නිකුත් කරන ලෙස අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීමක් කිරීම.
  4. ප්‍රාදේශීය ලේකම්ගේ මැනුම් සිතියම් උපලේඛනයක් ලබා දීමෙන් පසු පනතේ නියමිත ආකෘතියට අනුව සිංහල / දෙමල / ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් අදාල නියමයන් හා මායිම් උපලේඛනයන් සකස් කිරීම.
  5. එකී නියමයන් හා මායිම් උපලේඛන නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම.
  6. නීති කෙටුම්පත් සම්පාදක විසින් අනුමත කරනු ලැබීමෙන් පසු එකී නියමයන් සඳහා විෂය භාර ගරු අමාත්‍යතුමාගේ අත්සනට යොමු කිරීම.
  7. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යතුමා ලෙස රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විධිමත් සැලැස්මක් (Master Plane) සකස් කොට මුද්‍රණාලය වෙත යොමු කිරීම.

කිසියම් පූජනීය ස්ථානයක් පූජාභූමියක් ලෙස රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සමස්ත විධිමත් සැලැස්මක් (Master Plane) සකස් කොට ඒ අනුව පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සිදු කරනු ලැබේ..

තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන

දරිද්‍රතාවයෙන් හා ණය බරින් මිදී නිසි පෝෂණයෙන් සපිරි, , මතින් හා අවසිහියෙන් තොර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරන, සියලු ආකාරයේ හිංසන ක්‍රියාවන්ගෙන් වියුක්ත , ආධ්‍යාත්මීය වශයෙන් උසස් මනසක් සහිත , යහපැවැත්මෙන් හා දියුණු පෞරුෂයෙන් හෙබි දැනුමින් පිරිපුන් මානව සම්පත් සපිරි ගමක් ” පුණ්‍යග්‍රාමයක් ලෙස හැඳින්විය හැකිය. බෞද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනු වස් අතීත ගමයි පන්සලයි යන සංකල්පය ග්‍රාමීය ප්‍රජාව තුළ ජනිත කිරීම තුළින් යහපත් ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය වන්නා වූ බෞද්ධාගමික ඉගැන්වීම් හා එම ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය වන්නා වූ දිරිගැන්වීම් ලබාදීම මෙම වැඩසටහව තුලින් අපේක්ෂා කරනු ලබයි. සම්පත් පරිභෝජනයේ දී සමානාත්මතාවය ඇති කිරීමත් ඒ තුළින් පුද්ගලයා, පවුල හා ගම සුරක්ෂිත කිරීමත් තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහනේ අරමුණ යි.

 මේ සඳහා විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන සාරධර්ම සුරැකීමේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් හා භෞතික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. සාරධර්ම සපිරි , ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ගමක් බිහිකිරීම උදෙසා අඩු පහසුකම් සහිත දුෂ්කර විහාරස්ථාන ද එකී ගම්මාන ද සංවර්ධනය කරමින්,ගම්මානවල ජනතාව ගමේ පන්සල් සමඟ ඒකාබද්ධ කර සාරධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් 2018 වර්ෂයේ තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලදී.

 

තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා අරමුණු

  •   සාර්ධර්ම සුරැකීමේ වැඩසටහන

 බෞද්ධාගම මූලික කොටගත් සමාජ සාරධර්ම ආරක්ෂා කිරීම පිණිස සහය වෙමින් සෞඛ්‍ය සම්පන්න හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජනතාවක් බිහි කිරීම.

 අයහපත් සමාජ විරෝධී ක්‍රියාවන් සමාජගත වීමේ නැඹුරුව අවම කිරීම පිණිස සහය වීම.

 දෙමාපිය හා දූ දරුවන් අතර යහපත් සබඳතාවක් ගොඩනැගීම පිණිස ක්‍රියාකාරී පාර්ශවකරුවෙකු වශයෙන් ක්‍රියා කිරීම.

 දෛනික සමාජ ක්‍රියාකාරකම්වල දී විහාරස්ථාන, භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා සහය වීම.

 ආගමික ක්‍රියාකාරකම්වලට පමණක් සීමා නො වූ පුළුල් සමාජ ක්‍රියාකාරකම් සඳහා භික්ෂූන් වහන්සේගේ ක්‍රියාකාරී නායකත්වය ලබා දීම පිණිස වැඩ පිළිවෙළක් හඳුන්වා දීම.

 

  • විහාරස්ථාන කේන්ද්‍ර කොටගත් භෞතික හා ආර්ථික සංවර්ධන වැඩසටහන

 විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කළ හැකි ග්‍රාමීය ආර්ථික ක්‍රමයක් ගොඩනැඟීම පිණිස සහය වීම.

 ස්ත්‍රීන් විදේශගත වීම, ළමා ශ්‍රමය වැනි සමාජ අවගමනයට හේතු වන ආර්ථික ක්‍රියාකාරකම් මඟහරවමින් ග්‍රාමීය ආර්ථිකය ඵලදායී ලෙස හැසිරවීමට ආර්ථික උපාය මාර්ග සකස් කිරීමට අවශ්‍ය නායකත්වය   විහාරස්ථාන   තුළින් සැපයීම පිණිස සුදුසු ක්‍රියාවලියක් හඳුන්වා දීම.

 විහාරස්ථානයේ ග්‍රාමීය ජනතාවට ප්‍රයෝජන ගැනීම පිණිස පොදු ගොඩනැගිල්ලක් සංවර්ධනය කිරීම.

 ආර්ථික කාර්යයන්ට සහය වීමට උපයෝගී කරගෙන, හැකි පරිදි විහාරස්ථානය කේන්ද්‍ර කොටගත් ග්‍රාමීය දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.

පුරාණ විහාර ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම - 2018 වර්ෂයේ මහා භාණ්ඩාගාරය විසින් අයවැය යෝජනා අංක 161 මඟින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පුරාණ රජමහා විහාරස්ථාන සහ වන්දනාමාන ස්ථාන ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රු.මි. 250 ක් වෙන් කර තිබුණි. මෙම යෝජනාව යටතේ බුද්ධශාසන අමාත්‍යාංශයට රු.මි. 175 ක ප්‍රතිපාදන වෙන් කර දෙන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය මට්ටමේ ආයතන සමග සාකච්ඡා කොට ගත් තීරණයට අනුව මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබාගන්නා සංවර්ධන යෝජනා මඟින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලදී. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත ලබාගන්නා මෙම සංවර්ධන කාර්යයන්ගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම ද එම දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

මතට තිත වැඩසටහන

 මතින් තොර සමාජයක් බිහිකිරීම සඳහා ජාතික මට්ටමින් සැලසුම් කරන ලද වැඩසටහන මතට තිත වැඩසටහනයි. 2007 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන බුද්ධශාසන  අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික මතද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උපදේශකනත්වය මත ක්‍රියාවට නංවනු ලබයි.

ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය

2017.03.30 වන දිනබුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය හා ලයිට් ඔෆ් ඒෂ්‍රියා පදනම එක් ව අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රු.මි. 500 ක ආයෝජනයක් කිරීමටත්, එය ගිවිසුම් අත්සන් කළ දින සිට වසර 03 ක් තුළ නිම කිරීමටත් ලයිට් ඔෆ් ඒෂීයා පදනම එකඟව ඇත. එහි කටයුතු විධිමත් ව කළමනාකරණය හා අධීක්ෂණය කිරීම සඳහා ශාක්‍ය රාජධානි භාරය පිහිටුවා ඇති අතර, භාරයෙහි භාරකරුවන් විසින් මෙම ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සෑම මාස දෙකකට වරක් රැස්වෙන භාර රැස්වීමේ දී සමාලෝචනයට ලක් කෙරේ.

නේපාලයේ ඇති වූ භූමිකම්පාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය

නේපාලයේ ඇති වූ දරුණු භූමිකම්පාවෙන් එරට පිහිටි ආගමික සිද්ධස්ථාන රාශියකට හානි සිදු වූ අතර ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ඓතිහාසික සම්බන්ධතාවය සහ භූමිකම්පාවෙන් සිදු වී ඇති අති විශාල හානිය සැළකිල්ලට ගෙන එම සිද්ධස්ථාන එකක් හෝ කිහිපයක් ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කර දීමට යෝජනා විය.

ඒ අනුව නේපාලයේ එලෙස හානියට පත් බෞද්ධ සිද්ධස්ථානයක් හා හින්දු කෝවිලක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව එරට පිහිටි බෞද්ධ විහාරස්ථාන අතුරින් හානියට පත් වූ ස්වායම්බුනාත්හි ආනන්ද කුටි බෞද්ධ විහාරස්ථානය හා ලිලිට්පූර් හී රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට තෝරාගෙන ඇත. එම තෝරා ගැනීම පිළිබඳව එරට බලධාරීන්ගේ එකඟතාවය ඇතිව 2015 ජුනි 25 වන දින පැවැති භූමිකම්පාවෙන් හානියට පත් නේපාලය යළි ගොඩනැංවීම සඳහා වූ ජාත්‍යන්තර ආධාර සමුළුවට ශ්‍රී ලංකාවේ දායකත්වය දැනුම් දී ඇත.

 

නේපාල ශ්‍රී ලංකා තානාපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වියදම් ඇස්තමේන්තුව අනුව ස්වායම්බුනාත්හී ආනන්දකුටි බෞද්ධ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නේපාල රුපියල් 203,617,620.00 (ශ්‍රී ලංකා රු.මි. 277) ක් ද රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය සඳහා නේපාල රුපියල් 50,000,000.00 (ශ්‍රී ලංකා රු.මි. 68) ක් ද වැය කිරීමට ආරම්භයේදී සැලසුම් කර තිබුණි.

2017.12.31 වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රු.මි. 245 ක් වෙන්කර තිබුණු අතර එදිනට සමුච්ඡිත පිරිවැය රු.මි. 179.50 කි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බලන 12 වන මෙහෙයුම් කමිටු රැස්වීමේදී ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා තවදුරටත් දැරීමට සිදුවන අතිරේක පිරිවැය රු.මි. 105.00 ක් ලබා ගැනීම සඳහා 2018.04.11 ඉදිරිපත් කළ අමාත්‍යමණ්ඩල සංදේශය සඳහා දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මුළු ව්‍යාපෘති පිරිවැය ඇස්තමේන්තුව රු.මි. 450 ක් වශයෙන් සංශෝධනය විය.

විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව

බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය උදෙසා පුරෝගාමී වූ විද්වත් සමූහයට, උපහාරයක් වශයෙන් ද ථෙරවාදී බුදුදහම ලොවට ප්‍රචලිත කිරීමේ බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස ද බෞද්ධ ප්‍රජාවට අවශ්‍ය අධ්‍යාපන පර්යේෂණ හැකියාවන්, පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක අවශ්‍යතාව ඉටු කිරිම අරමුණු කොටගෙනඅරම්භ කළ විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම, 2005 වර්ෂයේ සිට රජයේ අරමුදල් ආයෝජනය කර ඉදිකර එහි අවසන් අදියරට පැමිණ ඇත.

 මෙම නවීන සම්මන්ත්‍රණ ශාලාව තුළ එකවර 1400කට පමණ අසුන්ගත හැකි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ප්‍රධාන ශ්‍රවණාගාරයක්ද ආසන 400 පමණ ධාරිතාවයෙන් යුත් රැස්වීම් ශාලා 02කින්ද සාමාජිකයන් 350කට එකවර රැදී සිටිය හැකි ප්‍රදර්ශණ ශාලාවකින් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක තිබිය යුතු පහසුකම් වලට සමගාමීව වායු සමීකරණ පද්ධති, ගිනිනිවීම්, ආරක්ෂිත පද්ධති, ගබඩා, විශේෂ අමුත්තන්ගේ කුටි, ජලනළ පද්ධති, ජාලකරණ පද්ධති, පොදු ඇමතුම් පද්ධති, ගිලන් කුටි, සනීපාරක්ෂක පහසුකම් හා අභ්‍යන්තර හා බාහිර රථගාල  පහසුකම්වලින්ද සමන්විතය.

2005 වර්ෂයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය ප්‍රධාන රේඛීය අමාත්‍යාංශ 02 ක් වන  නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශය හා බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (පූර්ව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ද ඇතුළුව) වසර 13 ක කාලය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ ඒ අමාත්‍යාංශ විසින් එක් එක් වර්ෂවලදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දැක්වූ දායකත්වය හා ප්‍රතිපාදන ලැබීම් හා වියදම් තත්ත්වය පහත දැක්වේ.

අනුරාධපුර, කුරුන්දම්කුලම්, “රජරට චාරිකා නිවාසය”

අනුරාධපුර, කුරුන්දම්කුලමේ පිහිටා ඇති “රජරට චාරිකා නිවාසය” බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් අනුරාධපුරය ප්‍රදේශයේ විවිධ රාජකාරී කටයුතු සඳහා සහ අනුරාධපුර පූජා භූමිය වන්දනා කිරීමට පැමිණෙන රාජ්‍ය නිළධාරීන්ගේ සුවපහසුව පිණිස ඉතා සහනදාසී මිල ගණන් යටතේ නවාතැන් පහසුකම් ලබාදීමේ අපේක්ෂාවෙන් ඉදිකර ඇත. වසරකට අධික කාල සීමාවක් තුළ රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයකට පහසුකම් සලසා ඇති අතර ඉතා ප්‍රිමනාප නිවාඩු නිකේතනයක් ලෙස ප්‍රසිද්ධිය උසුලයි.

බුද්ධශාසන අරමුදල

බුද්ධශාසන අරමුදල යනු 1990 අංක 35 දරණ පනත යටතේ පරිත්‍යාගශිලින්ගේ පරිත්‍යාග අරමුදල් වලින් ක්‍රියාත්මක වන, ජනාධිපති තුමාගේ මගපෙන්වීම හා උපදෙස් මත ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන විද්වත් පැවිදි සහ ගිහි සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සුසැදි පාලක මණ්ඩලයක් මගින් පාලනය වන බුද්ධශාසන අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ආයතනයකි.

බුද්ධශාසන අරමුදලේ උපදේශක කමිටුව

පාලක මණ්ඩලයේ බලතල පාවිච්චි කිරීම, කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් වූ යම් කරුණක් උපදේශක කමිටුවේ සහාය සහ උපදේශ සඳහා උපදේශක කමිටුව වෙත යොමු කරනු ලැබූ විට, උපදේශක කමිටුව විසින් ඒ කරුණු සම්බන්ධයෙන් පාලක මණ්ඩලයට සහායවීම සහ උපදෙස් දීම කරනු ලැබිය යුතුය.

බුද්ධශාසන අරමුදලේ උපදේශක කමිටුවවේ සාමාජිකයන්

  1. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  2. සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  3. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ තත් කාලයේ සභාපති ධුරය දරන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  4. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  5. බුද්ධශාසන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා
  6. බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්
  7. ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන වෙනත් සාමාජිකයන් 05 දෙනෙක්.
    • අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ
    • පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක ස්වාමින්වහන්සේ
    • මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක
    • පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින්වහන්සේ
    • මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා

බුද්ධශාසන අරමුදලේ පාලක මණ්ඩලය

පාලක මණ්ඩලයේ සභාපති ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා.  
ගල්කිස්ස බෞද්ධායතනාධිපති, බුද්ධශාසන අරමුදලේ සාමාජික , ආචාර්ය දිවියගහ යසස්සි නාහිමි.   
බුද්ධශාසන අරමුදලේ සාමාජික ,ගරු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.   
බුද්ධශාසන අරමුදලේ සාමාජික, අග්‍රාමාත්‍ය ලේකම්, ගාමිණී එස්.සෙනරත් මහතා.   
බුද්ධශාසන අරමුදලේ සාමාජික, ශ්‍රී ලංකාවේ මහභාරකාර තැන නිතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා   
බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධශාසන අරමුදලේ සාමාජික, දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා.   
බුද්ධශාසන අරමුදලේ නිරීක්ෂක, මහභාණ්ඩාගාර නියෝජිත, ආර්.වී එල් උදය කුමාර මහතා.   


බුද්ධශාසන අරමුදලේ කාර්ය මණ්ඩලයේ කාර්යාලය , කොළඹ 07 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135 දරන ස්ථානයේ ලේකම්වරයෙකු යටතේ ක්‍රියාත්මක වේ. ගිණුම් හා මූලය කටයුතු සඳහා ගණකාධිකාරීවරයෙක් ද, සහයක කාර්යය මණ්ඩලය වශයෙන් සංවර්ධන නිළධාරීන් 02 සහා රාජ්‍ය කළමණාකරණ සේවයේ නිළධාරීයෙකු ද සංවර්ධන නිළධාරීන් 05ක් ද බුද්ධශාසන අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයෙන් බුද්ධශාසන අරමුදලේ කටයුතු ඉටු කිරීම සඳහා අනුයුක්ත කර ඇත.

බුද්ධශාසන අරමුදලින් ඉටු කරනු ලබන කාර්යයන්

  1. 1990 අංක 35 දරණ බුද්ධශාසන අරමුදල් පනතින්
    • බුද්ධශාසනය ආරක්‍ෂා කිරීම හා බුද්ධශාසනය පෝෂණය කිරීම.
    • අරමුදල් එකතු කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම.
    • දේශීය හා විදේශීය වශයෙන් ලැබෙන මුදල් හා ආධාර අරමුදලට භාර ගැනීම.
    • බුද්ධශාසන අරමුදල විසින් විහාරස්ථානයකට කරනු ලබන පරිත්‍යාගයේ ප්‍රමාණයට අනුකූලව දේශීය ආදායම් බදු මුදලින් එම විහාරස්ථානයට නිදහස් වීමට අවශ්‍ය සහතික නිකුත් කිරීම.
    • බුද්ධශාසනයේ උන්නතිය වෙනුවෙන් දහම් පොත්පත් මුද්‍රණය කිරීම..
  2. බුද්ධශාසනයේ අභිවෘද්ධිය සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බුද්ධශාසන අරමුදලෙන් සිදුවන ශාසනික සේවාවන්
    • සාමණේර ආයතන පවත්වාගෙන යාම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන
    • සාමණේර ආයතන වර්ෂ අවසාන සමාප්ති කිරීමේ පරීක්‍ෂණය පැවැත්වීම
    • සම්බුද්ධත්ව ජයන්ති සාමණේර ශිෂ්‍යාධාර කැපකරු යෝජනා ක්‍රමය
    • ශිෂ්‍ය දසසිල් මැණියන් වහන්සේලා සඳහා කැපකරු ශිෂ්‍යාධාර ක්‍රමය
    • රෝගී වූ අසරණ පිළිසරණක් නොමැති භික්ෂූන් වහන්සේලා වෙත රෝගයේ ස්වභාවය අනුව වෛද්‍යාධාර ලබාදීම
    • වයස්ගතව පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට පැවිදි ජීවිතය සම්බන්ධව ප්‍රායෝගික පුහුණුව ලබාදිම
    • වයස් අවුරුදු 90ට වැඩි භික්ෂූන් වහන්සේලා සඳහා ආධාර මුදලක් ලබා දීම
    • දිවයින පුරා පිහිටි දුෂ්කර විහාරස්ථාන සඳහා සනීපාරක්‍ෂක පහසුකම් වෙනුවෙන් ආධාර ලබාදීම
    • චීන භාෂා හා සංස්කෘතික අධ්‍යයන ආයතන පිහිටුවීම
    • බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීම

බුද්ධශාසන අරමුදලේ මූල්‍ය ප්‍රභවයන්හි මූලාශ්‍ර

බුද්ධශාසන කාර්යයන් සඳහා අරමුදල් එකතු කිරීම සහ සම්පාදනය කිරීමේ කටයුතු බුද්ධශාසන අරමුදල මගින් කරනු ලබන අතර, 1990 අංක 35 දරණ පනතේ විධි විධාන පරිදි පහත සඳහන් සියලුම මුදල් අරමුදලේ මූල්‍ය ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා දායක කරගනු ලැබේ.

  1. දේශීය පරිත්‍යාගශීලින් විසින් අරමුදල වෙත කරනු ලබන දායකත්වය.
  2. රාජ්‍ය ආයතන හෝ ඒකාබද්ධ අරමුදලින් කරනු ලබන මූල්‍ය දායකත්වය
  3. විදේශීය රාජ්‍යයන් සහ පරිත්‍යාගශීලින් විසින් අරමුදල වෙත කරනු ලබන විශේෂිත පරිත්‍යාග.
  4. අරමුදල මගින් කරනු ලැබූ ආයෝජනයන්හි පොලී ආදායම.

බුද්ධශාසන අරමුදලේ උන්නතිය උදෙසා පරිත්‍යාගශීලින්ගේ දායකත්වය බලාපොරොත්තු වන අතර, බුද්ධශාසන අරමුදල නමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 51002 දරණ ජංගම ගිණුමට පරිත්‍යාග මුදල් බැරකල හැකිය. ඊට අමතරව චෙක්පත් මගින් පරිත්‍යාග මුදල් ලබා දෙන්නේ නම් ලේකම්- බුද්ධශාසන අරමුදල නමට චෙක්පත් ලබාදිය හැකිය.