අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවට සමඟාමීව ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් සෑම පෝය දිනකම යොවුන් ශීල සමාධි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවට සමඟාමීව ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් සෑම පෝය දිනකම යොවුන් ශීල සමාධි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහනේ තුන්වන වැඩසටහන මෙම මස 28 වැනි දින යෙදී ඇති මැදින්පුර පසලොස්වක පෝය දින සේරුවාවිල ඵෙතිහාසික මංගල රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් දවස පුරා ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන පෝ දින පෙ.ව.5.30 ට පිරිස අෂ්ඨාංගික ශීලයෙහි පිහිටුවමින් ආරම්භ වේ.

ඉන් අනතුරුව කිරි ආහාර පූජාවන්, කප්රුක පූජාව, ධර්ම සාකච්ඡා, දහම් පැන විසඳුම්, අට්ඨ බෝධි අංකුර රෝපණය, පැළ බෙදාදීම, දහම් පාසල් ළමුන්ට හා පෙරපාසල් දරුවන් සඳහා පොත්පත් බෙදාදීම ද සිදු කෙරේ.
මෙයට සමඟාමීව ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෝරාගත් හින්දු කෝවිල්, ඉස්ලාම් පල්ලි, කතෝලික දේවස්ථාන සඳහා මුදල් අධාර ලබාදීම ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් පිරිකර පූජා කිරීම.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් වැඩම කරන දහසක් පමණ වූ අති පූජනීය මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ, මහා කරුණා බෞද්ධ සංගමයේ ගරු සභාපති පූජ්‍ය කේ. ගුණරතන ස්වාමින් වහන්සේ විසින් සිවුරු පිරිකර පරිත්‍යාගයක් වශයෙන් ඉතා කඩිනමින් ලබාදුන් අතර ඒ උතුම් පුණ්‍යකර්මය ඉතා ගෞරවයෙන් මෙයින් සිහිපත් කර සිටිමු.

අද (2021.03.25) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී එම පිරිකර අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) ජේ.සී. රනේපුර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරිප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යංශ මාණ්ඩලික නිළධාරීන් හට භාර දෙනු ලැබීය.

img

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මවාස මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වීම හේතුවෙන් ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් නිකුත් කරන ලද ශෝක පණීවුඩය

ගල්කිස්ස, ධර්මපාලාරාමාධිපති, හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය, ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ශෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මවාස මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන්, මම බලවත් සේ සංවේගයට පත්විමි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ග්‍රාමයට අයත් සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් ප්‍රභූ පවුලක බාලයා ලෙස 1933 ජනවාරි මස 26 වන දින මෙළොව එළිය දුටු මේ පිංවත් කුමරාණෝ සම්බුදු සසුනට ඇති ඇල්ම නිසාම උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූ හ. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන යන විද්‍යස්ථාන වලින් භික්ෂුවකට අවශ්‍ය සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන් ප්‍රගුණ කළ උන්වහන්සේ, 20 වන විය සම්පූර්ණ වන විටම උපසම්පදා භූමියට පත්වූ හ.

සම්බුද්ධ දේශනාවට අනුව භික්ෂුවක තුළ තිබිය යුතු ව්‍යක්ත බව, විනීතබව , විශාරද බව හා ධම්මානු ධම්ම පටිපන්න බව නායක ස්වාමීන් වහන්සේ තුළ නිරන්තරයෙන් විද්‍යාමාන විය.

අසන දකින ගිහි පැවිදි සැමදෙනා තුළම චිත්ත ප්‍රසාදය ඇති කිරීමට සමත්වූ නායක ස්වාමීන්වහන්සේ, කර්ණ රසායන මිහිරි හඬකින්, නොනැවතී ගලා එන වාග්මාලාවකින් හා, මුල මැද අග ගලපන තමන්ටම ආවේනික වූ ශෛලියකින්, සැමගේ පහන් සංවේගය ඇතිවන පරිදි ධර්මදේශනා සිදුකළහ.
නායක ස්වාමීන්වහන්සේ විදේශ රටවල් විශාල ප්‍රමාණයක ධර්ම චාරිකාවේ යෙදුනු අතර, එහිදී පවත්වන ලද ධර්මදේශනාවන් පිළිබඳ පැහැදුනු එරට සැදැහැවත්හු බුරුමයේ ශ්‍රී ලංකාරාමයත්, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති විහාරයත් උන්වහන්සේට පූජා කළහ.

ධර්මදේශනා කිරීමෙන් නොනැවතුන උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රාශියක් නිර්මාණය කළහ. ඒවා අතර, කොසොල් රජුගේ සිහින, කේතුමති රාජධානිය හා ධම්මොහවේ රක්ඛති ධම්ම චාරි යන ග්‍රන්ථ සැමගේ ප්‍රසාදයට පත්වූහ. වර්තමාන භික්ෂුවකගේ කාර්ය භාර්ය මැනවින් ඉටුකළ නායක ස්වාමීන් වහන්සේ මුලු මහත් සඟ පරපුරටම ආදර්ශ සම්පන්න සුපේෂල ශික්ෂාකාමි ගුණගරුක මහ යතිවරයෙක් වූහ. දොළොස් දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට හා තුන්දහසක් පමණ විහාරස්ථාන ඇති සමස්ත අමරපුර මහනිකායටම නායකත්වය සැපයු උන්වහන්සේ, ස්වනිකායේ අධිකරණනායක, සම ලේඛකාධිකාරි, මහා ලේඛකාධිකාරි, සම සභාපති, සභාපති, මහනායක පදවි වැනි තනතුරු රාශියක් හෙබවූහ.

අපවත් වී වදාළ අතිගෞරවාර්හ දවුල්දෙන ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගෙන් පසුව අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක පදවිය ලැබීමට පුණ්‍යවන්ත වූ උන්වහන්සේ, තමන්ට ලැබුණු තනතුරු වලින් කිසිදිනක උඩගු වුයේ නැත. සැමවිටම ප්‍රකාශ කළේ “ මා කටයුතු කළේ භික්ෂුවක ලෙසින් මිස කාගේවත් තනතුරු හා ප්‍රසංශා ලබා ගැනීමට නොවන බවයි.” මෙම නිහතමානි ගුණය හා විද්වත් බව නිසාම බුරුම රජය උන්වහන්සේ ට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීමට කටයුතු කළහ. රටට අහිමිවූයේ වියත්, ධර්මධර, ශික්ෂාකාමි මහා පඩිරුවනකි. උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදුවූ පාඩුව කලකට පිරිමැසිය නොහැකිය.

මාගේ පෞද්ගලික ජීවිතයේ දී මෙන්ම දේශපාලන ගමන්මගේ දී ද කළ්‍යාණ මිත්‍රයෙකු හා ගුරුවරයෙකු ලෙස ලබාදුන් විවිධ අවවාද අනුශාසනා හා, ආශිර්වාද උන්වහන්සේට ගෞරවයක් පිණිස, මෙම සංවේග ජනක අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය. මෙය ලොව්තුරු බුදුවදන වේ. වසර 88 ක් ආයුවළදා ලෝසසුන් වැඩදායි උදාර මෙහෙවරක් සිදුකළ, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මවාස නායක ස්වාමීන් වහන්සේට පැතු යම් බෝධියකින් උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරමි.

එසේම සමස්ත අමරපුර මහනිකායේ වැඩබලන උත්තරීතර මහනායක අතිගෞරවාර්හ ගන්තුනේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු භික්ෂු මහා සංඝයාවහන්සේටත්, ශිෂ්‍ය පිරිසටත්, විහාරස්ථ දායක සභාවටත්, සියලු ඥාතීන් හා ප්‍රදේශවාසි සැමටත් මාගේ බලවත් සංවේගය මෙයින් පිරිනමමි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා..!!!

අද (22) උදෑසන අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා..!!!

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.14 දින පෙරවරුවේ පැවසීය.

පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකරතොරණ, චෛත්‍යයේ කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණය කළේය.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

මහා ශිවරාත්‍රි දින සුභාශිංසන පණිවිඩය

ලොව පුරා හින්දු බැතිමතුන් සමඟ එක්වෙමින් මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට  සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

 විවිධ ජනවර්ග සමඟ මිත්‍රශීලීව සහ එකමුතුව ජීවත්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ඇත. ඔවුන් සියලු දෙනා දැඩි අධ්‍යාත්මික හැඟීමකින් යුතුව ශිව රාත්‍රී දින උපවාසයේ යෙදී සිටිති.

 මහා ශිවරාත්‍රි දින උපවාසය ඔස්සේ අධ්‍යාත්මික විමුක්තිය උදාවනු ඇතැයි හින්දු භක්තිකයින්ගේ ඉහළ විශ්වාසයයි.

 හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනයේ මෙසේ නිරාහාරව සිටීම සහ ශුද්ධ වූ චාරිත්‍ර පිළිපැදීම මඟින් අධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරයි.

 අද වැනි උතුම් දිනෙක දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් කෙරෙහි ලැබෙනු ඇතැයි ද හින්දු විශ්වාසයක් පවතියි‍.

 එකිනෙකා අතර අන්‍යෝන්‍ය  අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින් හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

 මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටුවේවා ! යැයි මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

 හින්දු භක්තික ඔබ සැමට මහා ශිව රාත්‍රි දිනය අර්ථවත් හා ප්‍රීතිමත් දිනයක් වේවා !

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙය

 

 මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2021.03.09 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.

 හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් දොළහ සම්පූර්ණ කළේය.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට පස්වන විධායක  ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් දොළහ සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය දුන්නේය.

 ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12වැනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදුවිය.

 එහිදී අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට ද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවේය.

 ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා ඉටුකරන සුවිශේෂී කාර්යයභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්විය.

 මහා ශිව රාත්‍රී දිනය භක්තිමත්ව හා සෞඛ්‍යාරක්ෂිතව සැමරීම උදෙසා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50000ක බැගින් මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ  සමාරම්භය ද මෙයට සමගාමීව පැවැත්විණි.

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත‍්‍රී දිනය මෙවර 2021 මාර්තු මස 11 දිනට යෙදී ඇත.

මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නැයි ද අග‍්‍රාමාත්‍යතුමා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර කරමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත.

එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වල දී මහා ශිවරාත‍්‍රි උපවාසයේ මහිමය අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසැල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට නියමිතය.

හින්දු බැතිමත්හු මෙදින මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය භක්තිමත් ලෙස වන්දනාමාන කරමින් ශිව දෙවි කරුණාවේ ආලෝකය සියලු තැන්හි පැතිරවීම උදෙසා නමස්කාරයේ යෙදෙති.

මෙම හින්දු ආගමික වතාවත්  මනා ලෙස පෙළගැස්සවීම උදෙසා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල්වලට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මූල්‍යාධාර සපයනු ලැබේ.

අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමි අක්ත්‍ර පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම ස්වාමීන් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අක්ත්‍ර පත්‍රය ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.28 දින පස්වරුවේ පැවැත්විණි.

 මෙම අක්ත්‍ර පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ, හිරේවත්ත සිරි විජයාරාම මහා විහාරයේ දී පැවැත්විණි.

 අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ සිරි පවර විසුද්ධාචර්ය මහෝපාධ්‍යාන ශාස්ත්‍රාචාර්ය මහ නායක අති පූජ්‍ය නාකුළුගමුවේ පේමතිලක මහනාහිමියෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අදාළ අක්ත්‍ර පත්‍රය පිළිගැන්වූහ.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට විජිනිපත පිළිගැන්වූයේය.

 අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අෂ්ඨ පරිස්කාර පිළිගැන්වූහ.

අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථානයට අග්‍රාමාත්‍යතුමා මුල්ගල තබයි

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථාන ගොඩනැගිල්ලට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.02.28 දින පස්වරුවේ වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේ දී මුල්ගල් තැබුවේය.

මෙහිදී “ඤණතිලක ප්‍රභා” සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහානායක, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සභාපති හා වැඩබලන උත්තරීතර මහානායක ගන්තුනේ අස්සජි මහනාහිමි විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

 අග්‍රාමාත්‍යතුමා විසින් එහිදී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහනාහිමියන්ට සාහිත්‍යශූරී සමරු තිලිණය ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝ සභාව ද මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  සමරු තිලිණයක් ප්‍රදානය කළේය.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද  කීවේය.

 මෙම උත්සවයට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. එදා පාද යාත්‍රා යන වෙලාවේ අපිට නවාතැන් ලැබුණෙ මේ විහාරස්ථානයේ. එදා නවාතැන් විතරක් නෙමෙයි අපට ආහාරපානත් ලැබුණෙ මේ පන්සලෙන්. ඒ නිසා මේ විහාරස්ථානය අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ.

 ඒ වගේම මේ විහාරස්ථානය සමඟ අපි බැඳිලා ඉන්නවා. අද මේ ආරම්භ කරන මූලස්ථාන ගොඩනැගිල්ලෙන් විශාල කාර්ය භාර්යයක් ඉටුවෙනවා කියලා අපි විශ්වාස කරනවා. මෙතැන ඉන්න පිරිස බැලුවම මේ සඳහා දායකත්වය දීමට හැකි පිරිසක් සිටිනවා. මමත් මගේ දායකත්වය මෙම සද් කාර්යයට ලබාදෙන බව සිහිපත් කරන්න කැමති යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

 චූලගණ්ඨි පාර්ශවයීය ජ්‍යෙෂ්ඨ අනුනායක අතිපූජ්‍ය වැලිතර අමරනන්ද අනුනාහිමි, වැලිතර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිතර අමරජීව නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩමකළ වදාළහ.

 මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චන්දිම වීරක්කොඩි, සම්පත් අතුකෝරළ, ගීතා කුමාරසිංහ, ඉසුරු දොඩංගොඩ, ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

නවතම දර්ශන